• Opening Time : 8:30 AM - 4:30 PM

වයඹ අහස යට මතක ආවර්ජන – 04

වයඹ අහස යට – 2016
තෙවන ප්‍රසංගය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා කලා අනුකමිටුව එකමුතුවෙන් උපකාරය අවැසි දරුවන් උදෙසා ගොඩනගන ලද “වයඹ අහස යට” සමාජ සත්කාර අරමුදල වෙනුවෙන් ආරම්භ කළ, වසත්කල කැන්දන අරුමැසි සංධ්වනිය “වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය නාමය බැබලවූ එක් සාර්ථක නිමාවක තෙවන පියවරෙහි සොඳුරු මතකාවර්ජනය මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

“වයඹ අහස යට” සංගීත ප්‍රසංගයේ තෙවන අරුමැසි සංධ්වනිය 2016 ඔක්තෝබර් මස 30 වන දින වයඹ සරසවි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඉතා උත්සවශ්‍රීයෙන් කළ එළි දැක්වීය. මෙදින ප්‍රසංගයේ මධුර ස්‍වරයෙන් ප්‍රේක්ෂක හදවත් පිනවීමට ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතා, ප්‍රවීණ ගායන ශිල්පිනී නෙලූ අධිකාරී මහත්මිය සහ ගායන ශිල්පී දයාන් විතාරන යන මහත්ම මහත්මීන්‍ ආරාධිත ගායන මඬුල්ල ලෙස අප සමඟ එක්වූ අතර ඔවුන්ගේ සුමධුර ගායනයෙන් ප්‍රසංගය ඒකාලෝකවත් විය. ප්‍රසංගය සංගීතයෙන් හැඩ ගන්වන්නට ප්‍රවීණ සංගීතවේදී විශාරද සුසිල් අමරසිංහ මහතා ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම එක්වූ අතර සංගීත ප්‍රසංගයේ මෙහෙයවීමේ කටයුතු කැළුම් ශ්‍රීමාල් මහතා විසින් සිදු කරන ලදී. එසේම මෙදින ලංකාවේ නන් දෙසින් පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් වයඹ විශ්වවිද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරය පිරී ඉතිරී ගියේය.

“වයඹ අහස යට” සමාජ සත්කාරක අරමුදල යටතේ එක් පියවරක් සනිටුහන් කරමින් ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගම විසින් පිහිටක් අවැසි දරුවන් උදෙසා 2016 වර්ෂයේදී කුලියාපිටිය, ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයේ සත්කාරක වැඩසටහනක් පැවැත්විය. ඒ අනුව, කලක සිට ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ ගොඩනැගිලි දෙකක් සහ පාසල් බුදු මැදුර තීන්ත ආලේප කර ප්‍රතිසංස්කරණය කෙරුණි. තවද පාසල් අධ්‍යයන කටයුතු වල පහසුව සඳහා සිසුන් හට ලංකා සිතියමක් හා ලෝක සිතියමක්ද සිතුවම් කර නිමවා දීමට අප හට හැකියාවක් ලැබුණු අතර ඒ සඳහා පාසලේ ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයෙන්ද, ශිෂ්‍ය ප්‍රජාවගෙන්ද, ආදරණීය දෙමාපියන්ගෙන්ද මහත් ප්‍රශංසාවන් හිමිවිය.

“වයඹ අහස යට” සමාජ සත්කාරක අරමුදල යටතේ තවත් එක් පියවරක් ලෙස 2017 මැයි මස පළමුවන දින වයඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සහ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම මූලිකත්වයෙන් කුලියාපිටිය මූලික රෝහල් පරිශ්‍රය තුළ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කෙරිණි. එහිදී රෝහල් කාර්‍ය මණ්ඩලයේද උපකාර සමඟ රෝහල් භූමිය සහ රෝහල් වාට්ටු ශිෂ්‍යයන් විසින් සුද්ද පවිත්‍ර කරනු ලැබූ අතර එම කර්තව්‍යද අප හට සාර්ථක අයුරින් නිමා කිර ගැනීමට හැකි විය.

“වයඹ අහස යට” සමාජ සත්කාරයට සමගාමීව තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස ලේ දන් දීමේ වැඩසටහනක් සහ අක්ෂි දාන වැඩසටහනක් 2016 මැයි මස 3 වන දින විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. ඒ සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ගම්වාසීන් 150කට අධික පිරිසකගේ දායකත්වය හිමි වූ අතර එහිද සාර්ථක නිමාවක් ලබා ගැනිමට අපට හැකියාවක් ලැබුණි.

2014 වසරේ සිට පුරා වසර පහක් පැවැත්වූ “වයඹ අහස යට” වැඩසටහන් මාලාව 2020 වසරේ සිට රට තුළ පවතින වසංගත තත්වය හේතු‍වෙන් පැවැත්වීමට නොහැකි වුවද ඉතා මෑත කාලයේදීම නැවතත් ඔබගේ විඩාබර හදවතට වසන්තය කැන්දන්නට “වයඹ අහස යට” අරුමැසි සංධ්වනිය ඔබ හමුවට ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු.

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය – ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Leave a Reply